Friday, June 29, 2012

රැවටිලි ලෝකේ තවත් දිනක්... - දෙවෙනි කොටස


"ලොකු අයියා අවුරුදු දහ අට වුනු ගමන් හමුදාවට බැඳුණා. එතකොට මට අවුරුදු දහයක් විතර. අක්කා ඉස්කෝලේ දහයේ පන්තියේ හිටියේ. පොඩි අයියා අක්කාට වඩා දෙකක් බාලයි. අපේ ගෙදර වියදමට සල්ලි එව්වේ ලොකූ. ඒත් එයා හමුදාවට ගිහින් අවුරුද්දකින් විතර අනුරාධපුරේ අක්කා කෙනෙක්ව බැන්ඳා කියලා ලියුමක් එව්වා. අපි ඒ අක්කා කළුද සුදුද කියලාවත් දන්නේ නැ. එයාල කවදාවත් අපිව බලන්න ආවේ නැ. අයියා බැන්ඳට පස්සේ ටික කාලයක් එය ගෙදරට සල්ලි එව්වා. ඒත් පස්සේ පස්සේ අම්මා කොච්චර ලියුම් යැව්වත් කීයක් වත් එව්වේ නැ.. අම්මා නම් කිව්වේ ඒ බැන්ඳ ගෑනි සල්ලි එවන්න දෙන්නේ නැතුව ඇති කියලා.. ගෙදර අඩුපාඩු වෙනකොට.."

 "එතකොට ඔයලගේ තාත්තා හිටියේ නැද්දා??"මට නොඅහා ඉන්න බැරි වුනා.

"තාත්තා නැති වෙලා තියෙන්නේ මං ගොඩාක් පුංචි කාලේ. පොල් ගහකින් වැටිලාලු මලේ. හ්ම්ම්ම්..."

 පුංචි ඇස් වල තියෙන වේදනාව මට නොදැනුනාම නොවේ. අතීතය ගැන අහන්නේ නැතුව කතාව නවත්තන්නත් මට හිතුණා. පව්.. මොනා වුනත් පරණ දේවල් මතක් කරන කොට දුක ඇති නේ... 

"ඔයාට පරණ දේවල් මතක් කරන එක දුකයි නම් ඔයා ඔවා කියන්න ඕනේ නැ. අනේ මන්දා සඳමාලි.. පිරිමි නිසා තමා අපි හැමදාම දුක් විඳින්නේ.. එයාලා අපෙන් ප්‍රයෝජන ගන්නවා.. අපිව රවට්ටනවා.." 

"නැ නෝනා මට දුකක් නැ.. දුක් වුනත් කරන්න දෙයක් නැනේ.. මේ මගේ උරුමය කියල තමා හිතන්න තියෙන්නේ. 
අයියා සල්ලි එව්වේ නැති වුනාම ගෙදර අඩුපාඩු හින්දා අක්කා ඉස්කෝලේ නවත්තලා ගාමන්ට් එකේ වැඩට යන්න ගත්තා. අපිට හොඳ කාලයක් නාවට අවුරුදු දෙකක් විතර අපි නිදහසේ හිටියා. ඒත් ආයෙත් ප්‍රශ්න ඇති වුනේ පොඩි අයියා කුඩු ගහනවා කියලා පොලිසියෙන් අල්ලාගෙන ගිය දවසේ. අම්මයි අක්කයි එයාව බේර ගන්න පුළුවන් තරම් හැදුවා. ඒත් එයාව පුරුත්ථාපන කඳවුරකට යැව්වා. එකෙන් පස්සේ අම්මගේ ඔළුවත් එච්චර හොඳ නැති වුණා. අන්තිමට අපේ තාත්තාගේ මල්ලි.. ඒ කිව්වේ අපේ බප්පා කිව්වා මාව ගෙදරක වැඩ කරන්න කොළඹ යවමු කියලා. එයා ගෙදරක් හෙව්වා කියලත් කිව්වා. එතන මට ඉගෙන ගන්නත් හදලා දෙයි කියලාත් කියපු නිසා අම්මා අකමැත්තෙන් වුනත් මාව බාප්පා එක්ක කොළඹ එව්වා.. ඒත් බාප්පා මව කොහෙවත් ගෙදරකට දුන්නේ නැ. මාව මඩමකට බාර දුන්නා.... " 

ඇස් වල තදකරගෙන හිටිය කඳුළු දොඹ ගෙඩි වගේ එළියට පැන්නා.. මිනිත්තුවක් දෙකක් කතා නොකර හිටියේ ඒ කටුක මතකයන් පුංචි හිත පාරන හින්දා වෙන්නැති. මගේ ඇස් දෙකේ මං නොදැනම කඳුළු ඇවිත්. අනේ මන්දා.. පිරිමි ජාතිය..ගවුමේ අගින් කඳුළු පිහගෙන සඳමාලි අයේ කාතාව පටන් ගත්තා..

"මං නාදුනන කෙනෙක් අතින් මං ගෑනියෙක් වුනා නම් මට දුක නෑ නෝනා.. ඒත් මට එහෙම කලේ මාව පොඩි කාලේන් ඉඳන් දන්න මගේ බාප්පාමයි.. ඊට පස්සේ දේවල් කතා කරලා වැඩක් නැ නෝනා.. මං කාලයක් ඒ පව්කාර රස්සාවේ හිටියා.. ඒ හැමදේම වෙනස් වුනේ මේකා බඩට ආවට පස්සේ.. ඒ මඩමේ වුන් මේකාව මරලා දාන්න හැදුවා.. මං එතනින් පැනලා ආවා.. ඊට පස්සේ තැන් තැන් වල ඉඳන් හිඟා කෑවා.. බඩක් එක්ක හිඟා කනකොට මිනිස්සු එක එක පද වලින් මට බැන්නා.. ඒත් මං මොනා කරන්නද නෝනා..." 


හොඳටම හවස් වෙලා කියලා මට හිතුනේ ඒ මූණේ තිබ්බ අඳුර හින්දාද නැත්නම් ඇත්තටම හවස් වෙලා හින්දා ද කියලා මට තේරුනේ නැ.. මුළු කතාවම අහලා මන් යන්නම් කියලා නැගිටලා යන්නේ කොහොමද?.. කෙල්ල මගෙන් තව මුකුත් ඉල්ලුවේ නැති බව ඇත්ත.. ඒත් එහෙමයි කියලා මට යන්න පුළුවන්ද.. පිරිමින්ගේ වැරදි වලට වන්දි ගෙවන අහිංසක ජීවිත.. 

"මං යන්නම් නෝනා.." කෙල්ල ඉඳගෙන හිටිය තැනින් නැගිට්ටා.. 

"ම්ම්ම්ම්.... මට ඔයා ගැන ගොඩාක් දුකයි සඳමාලි.. ඒත් මගේ ලඟ මීට වඩා දෙන්න දෙයක් දැන් නැ.. මං ආයේ එන්නම් ඔයාව බලන්න.."

 පර්ස් එකේ තිබුනු රුපියල් 400 න් දෙසීයක් කෙල්ලගේ අතේ තියන ගමන් මං නැගිට්ටා. මට ඔඉට වඩා දෙන්න තිබුනා නම් කියලා හිතෙනවා. මං නිරාශාගෙන් කීයක් හරි ඉල්ල ගන්නවා අයේ මහපොළ දානකම්.

"නෝනාට පින් නෝනා.. " 

තරු කැට වගේ ඇස් බබලනවා.. "මං යනවා නෝනා.." ලමයත් වඩා ගෙන ඒ රූපේ ඇතට යන හැටි මං බලාගෙන හිටියා.. 

"නෝනා කියාක් දුන්නද ඒකිට?? "

 හදිස්සියේ පිටිපස්සෙන් වයසක් පිරිමි කටහඬක් ඇහුන නිසා හැරිලා බැලුවා..වයසක කුදු ගැහුණු සීයා කෙනෙක්. සල්ලි නම් ඉල්ලුවට වැඩක් නැ.. මං ලඟ දෙන්න සල්ලි නැ.. මං හිතින් කියගත්තා.. 

"නෝනා ඒකිට කියක් දුන්නද??" මගේ මූණ දිහා බලලා ආයෙ ඇහුව්වා.. 

"ඇයි අහන්නේ??" මගේ කටහඬ ඕනේවට වඩා සැර වුණාද මන්දා..සිහින් හිනාවක් ඒ මූණට ආවා..අනේ අම්මපා මේ වගෙ පිරිමි නිසා තමා මේ ලෝකේ එපා වෙන්නේ.. ඕන් නැති දෙයක් නැ. 

"නෝනා.. ඒ කෙල්ලා කියපුවා විශ්වාස කරන්න එපා.. මං ඒකීගේ සීයා.. ඕකී දැන් මාත් එක්කා කතා කරන්නේත් නැ.. ඉස්සර මං තමා ඕකිට කන්න බොන්න සේරම හොයල දුන්නේ.. මං හිඟ කැවේ ඕකිව ලඟ තියගෙන පෙන්නලා නෙවෙයි.. ඒත් හැම සතේම වියදම් කලේ ඕකිට. ඕකී හැමදාම මෙතනට එන මිනිස්සුන්ට බොරු බේගල් දාහක් කියලා රුපියල් දෙතුන් සීයක් කඩා ගන්නවා.. ඔය ලමයා ඒකීගේ නෙවේ නෝනා.. බොරු නම් අන්න අතන මඩුවට ගිහින් බලන්න ඒ ලමයා අර අන්ධ ගෑනිගේ.. නෝනා තරුණ හින්දා ඔය බොරු වලට අහුවෙන්නේ. මීට පස්සේ මෙතන ඉන්න හිඟන්නෝ කියන බොරු වලට රැවටෙන්න එපා නෝනේ.. මං හිඟ කන්නේ මට වෙන කරන්න දෙයක් නැති නිසා.. ඕකී හිඟ කන්නේ තියෙන කම්මලිකම නිසා.." 

සීයා හැරිලා හැරමිටිය ගහ ගහ ඇවිද ගෙන ගියා.. 

මගේ ඇස් බොඳ වුනේ මං ගැන ඇතිවෙච්ච දුකටද නැත්නම් පිරිමි වගේම ගෑනුත් අපිව රවට්ටනවා කියලා දැන ගත්ත ලැජ්ජාවටද කියලා මං දන්නේ නැ..

Wednesday, June 27, 2012

රැවටිලි ලෝකේ තවත් දිනක්...



"පිරිමි ජාතිය.. මහ කුහකයෝ.."
මම හිතින් මුළු කපටි කෛරාටික පිරිමි ජාතියටම බැන බැන ගෝල් ෆේස් එකේ ගල් බැම්ම උඩට වෙලා වාඩි වෙලා හිටියා. අද කැම්පස් එකේදි වුනු දේවල් එක්ක බැලුවාම පිරිම ජාතියම අතු ගාලා දාන්න තියෙනවා නම් කියලා හිතෙනවා. අවුරුදු දෙකක් තිස්සේ නාලිනිගේ බෝයි ෆෙන්ඩ් තව කෙල්ලෙක් එක්ක යාළු වෙලා ඉඳලා. අනේ ඇත්තට පිරිමි අපිව රවට්ටනවා කියන එකේ නිමක් නැනේ. මුන් කවදත් කලේ අසරණ ගැනු අපිව රවට්ටපු එක. 

"නෝනා දවස් දෙකකින් කාලා නැ. කීයක් හරි දෙන්නනකෝ.. නෝනාට පින් අයිති වෙයි.." 

හිතින් මම සමස්ත පිරිමි ජාතියම පතුරු ඇර ඇර උන්නු වෙලේ ඇසුණු සිහින් කට හඬක්.වයස දාසයක්.. නැ දාසයක් වෙන්න බැ.. ඊට අඩුයි.. වයස දහතුනක් විතර කිව හැකි මට්ටමේ ගැනු ලමයෙක්. මොකක්දෝ පොදියකුත් අතේ. ආහ්..පොදියක් නෙවෙයි පොඩි ලමයෙක්. ගැනු ලමයෙක් නෙ.. නොදීත් බැ. පව් අසරණ කෙල්ල. මම පර්ස් එක ඇද්දා. රුපියල් දහයක් දීලා වැඩක් වෙයිද? 

"නෝනා දවස් දෙකකින් මන් කාලා නැ.. දරුවට කිරි ටිකක් වත් අරන් දෙන්න විදිහක් නැ." 

රුපියල් දහයකින් මොනවද කරන්න පුළුවන් කියලා අහනවා වෙනුවට ඇය වෙන විදිහකින් කිව්වා කියලයි මට හිතුනේ. ඒත් දරුවා?... 

"මල්ලිද? කෝ අම්මා?" මම ඇහුව්වා. 
"මල්ලි?? නැ නෝනේ මේ මයෙ දරුවා.." 

බිමට හැරුණු ඇස් වල හැංගිච්ච මොකක්දෝ දුකක් ලියවෙලා තිබුනා. හ්ම්ම්.. තවත් අසරණියක්. මගේ හිත මට වද දෙනවා. අහන්න.. කොහොමද එහෙම වුනේ.. අහන්න.. කවුද එහෙම කලේ.. ඒත් බඩපොත්ත පිටපොත්තට ඇලිලා තියෙන වෙලාවක කතා අහන එක හොඳ නැනේ. මම පර්ස් එක අතේ තියාගෙනම වටපිට බැලුවා. තරමක් දුරින් වුනත් නවත්තලා තිබුන කෑම කරත්තේ බත් පැකට් විකිනීමට ඇත කියන බෝඩ් ලෑල්ල හොඳට පේන්න තිබුනේ එන්න එන්න කියනවා . 

"යන්.. මන් ඔයාට කෑම එකක් අරන් දෙන්නම්. රුපියලේ කාසි දීලා වැඩක් නැනේ.." 

මන් ඉඳගෙන හිටිය තැනින් නැගිට්ටා. පොඩි කෙල්ලගේ ඇස් බබළනවා කියලයි මට හිතුනේ. මීට කලින් කවුරු වත් ඔහොම අඬ ගහල නැතුව ඇති මයේ හිතේ. බත් පැකට් එකයි පුංචි එකාට බනිස් ගෙඩියයි කිරි පැකට් එකයි අරන් දීලා මම මටත් රටකජු ගොට්ටක් ගත්තේ කතාව අහන ගමන් හපන්න හිතාගෙන.

ගෝල් ෆේස් එකේ ගල් බැම්ම උඩ තියාගෙන පොඩි කෙල්ල බත් පැකට් එක දිග ඇරියා..බත් එක දැක්කාම කෙල්ලගේ මූණ පිපිච්ච හැටි දැක්කාම අහන්න හිතාගෙන හිටිය දේවලුත් අමතක වුණා. "ඔයාට වයස කීයද?" මට හදිස්සියි කතාව දැන ගන්න. "ඔහ්?" කටේ බත් පුරෝගෙන. හා හා.. කාලා ඉන්න. කාලා ඉන්න.. මට හදිස්සි නැ.. ඔයාගේ විස්තර දැන ගන්න ඇහුව්වේ. කොච්චර හදිස්සි උනත් බඩගින්නේ ඉන්න ලමයාගෙන් හාර හාර විස්තර අහන්න මගේ හිත ඉඩ දුන්නේ නැ.

පොඩි ළමයට වයස අවුරුදු දෙකක් විතර ඇති කියලයි මට හිතුනේ. බනිස් ගෙඩිය කාලා එක හුස්මට කිරි පැකට් එක බීපු විදිහ දැක්කාම මගේ පපුව හෝස් ගලා පත්තු වුණා. ගෙදර කොච්චර අඩු පාඩු තිබුනත් අපේ අම්මලා එයලාගේ බඩට නොකා හරි සල්ලි ටික කොළඹ එවන්නේ ළමයා බඩගින්නේ තියලා කන්න බැරි නිසානේ.ඒත් ඉතින් මෙහෙම පොඩි එවුන් දකින කොට අපිට මොන අඩු පාඩුද කියලත් හිතෙනවා. පර්ස් එකේ මුලු සතියටම වියදම් කරන්න තිබුන 500න් එක 100ක් මෙහෙම වියදම් කලාට මට අඩුවක් වෙනවයැ. අහිංසක ළමයි.. පිරිමි හින්දා දුක් විඳිනවා. 
අපෝ.. ආයෙත් ඔන්න මතක් වුණා.. ජරා ජාතිය.. හොඳ වෙලාවට අර පස්සෙන් ආපු එකාටත් මං බැ කිව්වෙ. නැත්නම් ඉතින් මටත් නාලිනිට වෙච්ච දේම තමා.

"නෝනා, නෝනට ගෝඩාක් පින් නෝනේ.." අහිංසක ඇස් හිනා වෙනවා. 
"ඔයාගේ වයස කීයද??" 
"16යි නොනේ. මම කොළඹ නෙවි.හම්බන්තොට." 
"එතකොට මෙහෙ ආවේ??"
දිග හුස්මක් ගත්තා. 
"ඔයා අකමැති නම් කියන්න එපා. මං නිකමට ඇහුව්වේ." 

පරණ යටගියාව මතක් කරන එක පුංචි හිතට වදයක් වෙන්නැති. මට එහෙම හිතුණා. 

"අකමැති නෙවෙයි නෝනේ.. නෝනා මොකටෙයි මේ මං වගේ පවුකාරියන්ගේ කතා අහන්නේ.. " කළු පාට ලොකු ඇස් වල දිළිසෙන කඳුළු ගෙඩි එළියට පනින්න ඔන්න මෙන්න වගේ. 

"මං ආසයි දැන ගන්න. සමහරවිට මට ඔයාට උදව් කරන්න පුළුවන් වෙයි." 
"හ්ම්ම්ම්ම්....අපිට උදව් කරන්න දෙයියෝ වත් නැ නෝනා.. නෝනා ආසම නම් මං කියන්නම්.. මං සඳමාලි. අපේ පවුලේ මං තමා බාලයා. මට වැඩිමල් අක්කයි අයියලා දෙන්නෙකුයි හිටියා... 




"බ්ලොග් එකේ දාන දෙවෙනි කෙටි කතාව තමා මේ.. පළවෙනි කොටස බලල දැඩි තීරණ එහෙම ගන්න එපා.. අපේ පුරුෂ පාර්ශවයට කිව්වේ... හික්ස්.. නැත්නම් කමෙන්ට්ස් වලින් මාව පළු අරි.. :)"