Wednesday, November 20, 2013

~ආලය~



ආලය පුදුමාකාරය..අපි ආලය නිසා කරන දේවල් ඊට වඩා පුදුමාකාරය. සමහර විටෙක කිසිදාක නොකරයි සිතූ දෑ අපි කරන්නේ අපි ආදරය කරන අය වෙනුවෙනි. ආදරය නිසා අපි හිමි කරගන්න දේවලද බෝහෝය.. නැති කරගන්නා දේවල් ද බෝහෝය..

ආලය ඇබ්බැහි වෙන සුළුය.. ආදරයෙන් බැඳුනු පසු එයින් මිදීම අපහසුය. එය එතරම් ඇබ්බැහි වෙන සුළුය.

ආදරය නම් හිමිවීම ම නොවේ. එක මොහොතකට හෝ ලඟ හිඳී නම් ආදරය කරන්නාට එයම ප්‍රමාණවත් ය. ආදරයට නිර්වචන නැත.. නීති රෙගුලාසි නැත. ඇත්තේ ආදරයම පමණි..

ආලය අපි ලඟ තියෙන තාක් අපි සතුටින් ය. ආලය වෙන්ව ගිය පසු දුක උරුමය. නමුත් ආලය වෙන්ව යන්නේ නැත. යන්නේ අපි ආදරය කරන මිනිසුන් පමණි. අපි ආදරය කරත් නොකරත් මිනිසුන් අපව දමා යාම සදාකාලිකය. එය නතර කළ නොහැක. නමුත් ආදරය අපව දමා නොයයි. එය මියෙන තුරු අප අසල රැඳේ..

ආලය නම් හිත වශී කරවන මායාවකි..
මායාව විසින් රවටන ලඳුව
අප විසින් හිතින් වන බැඳීමකි..
බැඳීමෙන් මිඳෙනු නොහැකිව
හිතින් විඳවන අපූරු හැඟිමකි..
ආලය නම් විටෙක වින්දනයකි..
තවත් විටෙක විඳවීමකි..
නමුත් එය නම් පුදුමාකාරය..


Sunday, November 10, 2013

රැගෙන යන්න මා....


සිව් මානයේ කොනක
කිසිවෙකුත් නැ හඬන සයුර මිස
සුදු පාට පෙණ විසුරුවන
නිල් පාට දිය රැළි
දිව එනා වෙරළට.....

වෙරලේ කොනක සිට
බලා සිටිමි මෙමා
පෙර දිනයේ සැමරුම්හි
ශේෂ වූ මතකයන්
තැන තැන විසිරී
හඬා වැටෙනා අයුරු.....

දෑත් විහිදුවා දෙපසට
වැතිරෙමි වෙරල මත
සුදු පෙණ කැට විත්
මා වත වසා ගනිද්දී
මුළු ලොවම නිහඬය.....

මා පමණක්ම වන
මේ විශ්වයේ කොනක
රැගෙන යන්න මාද ඉතින්
සෙනෙහසින් තුරුළු කොට
නිල් දියඹ පතුලටම
ආලයක් සොයාගෙන...


Saturday, September 21, 2013

~අඳුරු පාළු කුටියක~





හිත පතුලේ පාමුල ම
අඳුරු පාළු කුටියක
සිර කලා මං මගේ
අඳුරු මතකයන් පොදිය

කුඩා සිදුරක් පවා
ඉතිරි නොවෙනා ලෙසට
සිහින් සරයක් පවා
පිටට නොඇසෙනා ලෙස

දොර පොළුද ඉබි යතුරු
දැමුවෙමි ඒ දොරට
සීල් තැබුවෙමි මම
පතුලේ ඒ අඳුරු කුටිය

දිනෙන් දින ගෙවීයත්ම
අමතක වුණා මට ම
මං සීල් කරපු ඒ
පාළු හුදකලා කුටිය

පාළු හැන්දෑවක දිනක්
මතකයන් දෝරේ ගියා
කුටිය පුපුරවාගෙන
මතකයන් පැන ගියා

නෑ සවියක් ඉතින්
යලිත් බැඳ දමන්නට
නොදැමුණු අසුන් මෙන්
දිව යනා මතකයන්..



Sunday, May 26, 2013

තාම දන්නේ නෑ මං..


"තමාරා.. මේ බලන්නකෝ ඊළඟ සින්දුව කියන කෙනාගේ නම.. "
ගැහෙන ඇඟිලි වලින් අල්ලාගෙන හිටිය වැඩ සටහන් පෙළගැස්ම මම තමාරට පෙන්නුවේ මෙතනින් නැඟිටලා යනවද නැද්ද කියලා හිත ඇතුලින් මහා යුද්ධයක් කරන ගමන්.. කලින් සින්දුවේ නිසා හිතට දැනුන කම්මැලිකම හින්දාම වැඩ සටහන් පෙළගැස්ම බැලුවේ ඊළඟ සින්දුව වත් හොඳ එකක් වෙයි ද කියලා බලන්න.. ඒත් මෙහෙම දෙයක් මම කවදාවත් බලාපොරොත්තු වුනේ නැ..
"ඇයි කවුද කියන්නේ??" තමාරා ඕනෑවට එපාවට වගේ කොලේ දිහා බැලුවා.. ධනුශ්ක මිල්ලගහවත්ත..ඉතින්??"
ඇයි මේ ඇස් දෙකේ කඳුලු කෙල්ලේ? අපොයි දෙයියනේ මේ ඔයාගේ ධනුශ්කද?? නැ.. වෙන්න බෑනේ.. එයා කොහෙද මෙල්බර්න් වල??"
තමාරා කියපු කතාව ඇත්ත.. තව ධනුශ්ක මිල්ලගහවත්තලා කොච්චර ඇද්ද.. මම බොරුවට කලබල වෙලා.. ඔව්.. සින්දු කියන ධනුශ්කලා තව කොච්චර ඇද්ද.. හ්ම්ම්ම්ම්....
නික්ම ගිය සුසුමත් එක්ක අවුරුදු හතක් තිස්සේ වල දාලා තිබුනු මගේ ආදර කතාව මට ආයේ මතක් වුනා..
**************************************************************
"ඔයා මට කැමතිද??"
ඉස්කෝලේ ඉවර වෙලා බස් එක අල්ලගන්න හදිස්සියේ දුවගෙන ආපු මන් එක පාරටම නතර වුනා. කාගෙන් වුනත් ඔහොම එක පාරටම පාර මැද්දට පැනලා" මූනට දමලා ගහනවා වගේ කැමැත්ත අහන සිරිතක් තියෙනවද??" මට මුලින්ම කියවුනේ එහෙම. ඒ කතාව අහපු ගමන් ඒ මූනේ හීන් හිනාවක් පැතිරුනා. නළලට වැටුනු කොණ්ඩේ.. දාඩිය බින්ඳු දෙක තුනක් රැඳුනු දිග නහය... උඩ බොත්තම ඇරුනු කලිමට උඩට දාගෙන තිබුනු සුදු ෂර්ට් එක.. දුවිලි ගෑවුනු කලිසම.. කළුද කියලා හොයගන්න බැරි තරමට දුඹුරු වෙලා තියෙන සපත්තු දෙක.. මෙයා නම් කෙල්ලෙක්ගේ හිතගන්න විදිහ පොඩ්ඩක් වත් දන්න කෙනෙක් නෙවෙයි.. "හරි හරි.. සොරි එක පාරට මැද්දට පැන්නට.. ඒත් ඉතින් ඔයා දුවපු දිවිල්ලි හැටියට එහෙම නොපැන්නා නම් නතර වෙයිද? හරි දැන් කියන්නකෝ මට කැමති නේද??"
ආහ්.. මෙන්න වැඩක්.. ඔහොම ගහෙන් ගෙඩි එනවා වගේ කොල්ලෙක්ට කැමති වෙන්න පුළුවන්ද?? "මේ මට ක්ලාස් යන්න පරක්කු වෙනවා.. මම යන්නද??"
"හරි ලොජික් ක්ලාස් නේ යන්නේ.. මාත් ඒකට යනවා.."
"මොකෝ කට ඇරගෙන බලගෙන ඉන්නෙ?? ඔයා නොදන්නවා වුනාට මන් ඔයාව දන්නවා මිහිරි.." එයා හිනා වෙනකොට ඇස් දෙක පුංචි වෙනවා.. ලස්සන හිනාවක්.. ආහ්.. මම මොනවද මේ හිතන්නේ..
"ආහ් එහෙනම් යන්.."
ඊළඟට ආපු බස් එකට අත දාලා නැවැත්තුවා. මට මුලින් නඟින්න ඉඩ දීල එයා පැත්තකට වුනා. හොඳ කොල්ලෙක්.. මැනර්ස් තියෙනවා.. මගේ හිත කියනවා.. බස් එක කට පුරෝලා. ඒත් ඇයි අද මට ඒක කරදයක් විදිහට දැනෙන්නේ නැත්තේ??
ඉස්කෝලේ ඉවර වෙලා පන්ති යන ළමයින්ගෙන්ම බස් එක පිරිලා. සැමන් ටින් එකේ දාපු මාළු වගේ සෙනඟ කිටි කිටියේ තද වෙලා. මං අකැමැතිම දේ මෙහෙම සෙනඟ පිරුනු බස් වල යන එක. ඒත් අද ඒ සෙනඟ මට කරදයක් විදිහට දැනෙන්නේ නැ.
ටිකට් ගන්න.. ටිකට් ගන්න.. කොන්දොස්තරගේ කටහඬින් මං ආයෙත් පියවි සිහියට අවා. "බෝ ගහ හන්දිය දෙකයි" සල්ලි හොයන්නත් කලින්ම එයා කියලා ඉවරයි. එයා?? විනාසයි.. මං තමා හරියට නම දන්නේත් නැ.. ධනුක ද.. ධනූෂ ද මන්දා.. නෑ.. දර්ශන.. ඔව්..දර්ශන තමා. ඉතින්?... එයාට දිගටම කතා කරන්න ඕනේ වෙලා. තේරෙන්නේ නැද්ද මන්ද.. එකපාරටම කෙල්ලෝ කැමති වෙන්නේ නැනේ.. පොඩ්ඩක් පස්සෙන් එන්න ඕනේ.. ම්ම්ම්ම්.. ඉතින් මොකක්ද.." මං වැඩි ගානකට නැතුව කිව්වා. ඉතින් මොකද කියන්නේ ඔයා?? කැමතිද නැද්ද??" යකෝ.. මේකට පුදුම හදිස්සියක්නේ තියෙන්නේ.. මෙහෙමත් පුළුවන්ද.. කෙල්ලෙක්ව කැමති කරගන්න නම් මෙයා දන්නේම නැනේ හැබෑට.. "එහෙම කියන්න බැ. මං ඔයාව දන්නේත් නැනේ.."ටිකක් වෙලා කල්පනා කරලා.. "දර්ශන" කෑල්ලත් ඒකට එකතු කලා. "දර්ශන??" ඇස් දෙක ටීක් බෝල වගේ ලොකු වෙලා.. කටත් ඇරගෙන. එයගේ නම එයට එච්චර අමුතුද. "ම්ම්ම්.... ඔයා කිව්වා හරි.. ඔයා මාව දන්නේම නැ තමා" මෙච්චර වෙලා එලිය වෙලා තිබුන මූණ අඳුරු වෙලා ගියා. මගේ නම දර්ශන නෙවේ. ධනුශ්ක.. ධනුශ්ක මිල්ලගහවත්ත. මගේ ඉස්කෝලේ නම් දන්නවා ඇති නේ.. ඒක බැජ් එකෙන් පේනවනේ.. ම්ම්ම්..තව.." ආහ්. ආයෙත් මූට ඉර පායලා. මෙයා ලේසියෙන් පසුපහින කෙනෙක් නෙවේ වගේ. "තව.. මට යාලුවෝ එක එක නම් කියනව.. මිල්ලා කියනව.. ඩීඑම් කියනව.. ඔයාට ඕනේ නම් ධනූ කියන්න පුළුවන්..අම්මා තාත්තා දෙන්නම ඉන්නවා. අයියෙක් ඉන්නවා. එයා මට වඩා ගොඩාක් ලොකුයි.. ලොකුයි කිව්වේ හල්ක් වගේ නෙවේ.. වයසින් වැඩි.." එයා කියන කතා වලට හිනාත් යනවා.. ඒත් වැඩිය හිනා වෙන්න හොඳ නැ. එතකොට මං කැමති කියලා හිතයි. "ඔයා දන්නවද ඔයා හිනා වෙනකොට හරි ලස්සනයි.. චාටු කතා නෙවේ.. සත්තයි.. " 
එයත් එක්ක තාම එක පාරක් වත් හිනා වෙන්නේ නැතුව එයා කොහොමද දන්නේමං හිනා වෙනකොට ලස්සනයිද කැතයිද කියලා. "මං තාම ඔයා එක්ක එක පාරක් වත් හිනා වුනේ නැ.." "ඒක තමා.. ඔයා හිනා වෙන්නේ නැතුව මෙච්චර ලස්සන නම් හිනා වුනොත් කොච්චර ලස්සන වෙයිද.." හිහිහිහිහි.... ඒ පාර නම් මට හිනා ව තවත් හංඟන්න පුළුවන් වුනේ නැ.. එදා එහෙම පටන් ගත්ත කතාව ඉවර වුනේ මං ධනුශ්කගේ වෙලා. 

කාලය අපි දන්නේම නැතුව ඉගිල්ලිලා ගියා. උසස් පෙළ විභාගයෙන් පස්සේ ධනුශ්ක කැම්පස් එකට තේරුනා. මට බැරි උනත් ධනූ කැම්පස් ගිය එක ගැන මන් හිටියේ ගොඩාක් සතුටින්. ඒත් ඒ සතුටට කණ කොකා හඬන්න ඒතරම් කල් ගියේ නැ. එතකොට අපේ ආදරේට අවුරුදු හතරකුත් සම්පූර්ණ වෙලා.
කැම්පස් එක ඇතුලේ ධනූට යාලුවෝ ගොඩාක් හම්බු වුනා. අලුත් යාලුවෝ.. ගෑනු ලමයි.. පිරිමි ලමයි වෙනසක් නැතුව.ධනුශ්කට තිබුනු ලස්සන කටහඬ හින්දත් එයා වටේ ගොඩක් අය එකතු වුනා. හැමවෙලේම සින්දු කියන එක එයාගේ පුරුද්දක්..ධනුශ්ක ටික ටික කාර්යබහුල වෙන්න ගත්තා. එයාගේ දින චර්යාවේ ඉඳන් ෆෝන් එක වෙනකන්ම් කාර්යබහුල වුනා. එයා මට ඇත්තටම ආදරේ බව මං දැනගෙන හිටියා. ඒත් යාලුවෝ එක්ක එයා ඉන්න විදිහ දැක්කාම මගේ හිතට බය හිතුනා. හැමදේම පටන් ගත්තේ කැම්පස් ට්‍රිප් එකේ පින්තූර ෆේස්බුක් එකේ තියෙනවා දැකලා. ධනුශ්ක හිටපු පින්තූර හැම එකේම වගේ තව ගෑනු ලමයෙක් හිටියා. ධනූ කිව්වේ ඒ යාලුවෙක් කියලා. ඒත් සමහර වෙලාවට එයා යාලුවෙක් විතරමද කියල මට සැක හිතුනා. නිලූශා.. නිලූශා හරියට ධනුශ්කට කතා කලා. කැම්පස් එකේ නෝට්ස් හැමදේම හොයලා දුන්නේ නිලූශාමයි. සමහර වෙලාවට මට තරහත් යනව.. මගේ කොල්ලගෙ වැඩ ගැන මොකද මෙයා මෙච්චර වඩ වෙන්නේ කියලා. ඒත් මන් හිත හදගත්තේ ධනූට හොඳක් නේ වෙන්නේ කියලා. 
ගොඩක් වෙලාවට මං රංඩු  කරන නිසාම ධනූ දවසක් මාව කැම්පස් එකට එක්කන් ගියා. අලුත් සතෙක් මිනිස්සු රොත්තක් ඉන්න තැනකට ගියාම මිනිස්සු ඒ සතා දිහා බලාගෙන ඉන්න කොට ඒ සතාට හිතෙන්නේ මොනවද කියලා එදා මට තේරුනා. මොකද මටත් දැනුනේ මිනිස්සු රොත්තක් මැද්දට ගිය අලුත් සතෙක් වගේ. හැමෝම ඇස් කොණින්.. සමහරු නම් හරි කෙලින්මත් බලාගෙන හිටියා. පිටි පස්සට කතා නොකරපු කෙනෙක් හිටියද කියලද නම් මට සැකයි. ඒ මට පිටි පස්සට ඇස් තිබුන නිසා නෙවෙයි. මට දැනුන නිසා. නිලූශා මාත් එක්ක හොඳට කතා කලා. ඒත් මට තේරුම් ගන්න බැරි හැඟීමක් එයාගේ ඇස් වල තිබුනා. ඒ බැල්මේ තිබුනෙ මන් මට අයිති නැති තැනක ඉන්නවා වගේ හැඟීමක්. 
නිලූශා ගොඩක් දේවල් කලේ එයා ධනුශ්කගේ ගර්ල් ෆෙන්ඩ් වගේ කියලා මට හිතුනා. 
"ධනු කෑවද?? ධනු අද ලෙක්චර් එකට යනවද?? මෙයා ලෙක්චර්ස් යන්න හරි හොරයි අනේ.." 
එයා ධනූට කතා කරන අතරින් පතර මටත් දේවල් කිව්වා. "ඔයා ඉතින් මට සයින් කරනවානේ.. ඔයා ඉතින් මට නෝට්ස් ටික දෙනවනේ.." අපොයි ඔව්.. මෙයාට ඉතින් හොඳයි මං ඉන්න නිසා.." නිලූශා කට ඇද කරලා කිව්වේ මං නැත්නම් ඔයත් නැ ධනූ කියනවා වගේ. ධනූ මගේ ලඟින්ම හිටියට එදා මට ගොඩාක් තනිවෙලා කියලා දැනුනා.
මං ධනූගෙන් ඈත් වෙන්න ගත්තේත් නිලූශා ධනූට ලං වෙන්න ගත්තෙත් එකටමද..එහෙම නැත්නම් එයා ලං වුනාට පස්සේ මං ඈත් වුනාද කියලා මට වැහීමක් නැ.. කාලය අපිව වෙන් කලා. මගෙ අතෙත් වැරදි ගොඩාක් තිබුනා. මට ධනූ ගැන සැකය තිබුනේ නැ. ඒත් මට පාලනයක් නැති මොකක්දෝ හැඟීමක් හිතේ තිබුනා. අපි දෙන්නා වෙන් වෙමු ධනුශ්ක.. මට මෙහෙම ඉන්න බැ..". මං තාම දන්නේ නැ වෙන ගෑනු ලමයෙක් ධනූට ලං වෙනකොට මං ඇයි ප්‍රශ්නෙන් පැනලා ගියේ කියලා. මගේ යාලුවෝ ඔක්කෝම කිව්වේ ඔයා හරි නම් ඒ කෙල්ලට බැනලා ධනුව ඔයාගේ පැත්තට ගන්න තිබුනා කියලා. ඒත් මං ඒ වෙනුවට කලේ ධනූව නිලූශාටම තියාගන්න කියලා එයාලගෙන් අයින් වෙලා ගිය එක. ලංකාවෙන් ඇවිත් දැන් අවුරුදු හතකට ළඟයි. මට තමාරාව හම්බු වුනේ මෙල්බර්න් වලට ආපුම කාලේ. ඒ දවස් වල මට උවමනා වෙලා තිබුනු මිතුරුකම.. සහෝදරත්වය එයාගෙන් ලැබුනා. ධනුශ්කව අමතක කරලා ආයේ ජීවත් වෙන්න මට ශක්තිය දුන්නේ තමාරා. එත් දැන් අවුරුදු ගානකින් අපි ධනුශ්ක ගැන කතා කරලම තිබුනෙ නැ. 
*************************************************************** හිතුවේ වත් නැති විදිහට වේදිකාවට ආවේ ධනුශ්කමයි. මගේ ධනූ.. 

හිත දුර හන්දා
නෙතු ලඟ හංඟා
සිහින ගනින හන්දා
තනියම හන්ද
ඈතක රන්දා
මතක හිත ඇහින්ඳා.. 
අරුත කියන සෙනෙහේ 
නුඹම වේද මන්දා

"ධනුශ්ක..?"
ධනුශක සින්දුව කියලා ඉවර වුන ගමන් මං එයා ළඟට ගියා. ධනුශ්ක මගේ දිහා ටිකක් වෙලා බලාගෙන හිටියා. 
"ඇයි?" 
"ඇයි?... මෙච්චර කාලෙකට පස්සේ මාව හම්බු වුනාම ඔයාට අහන්න තියෙන්නේ ඇයි කියලා විතරද??" මගේ ඇස් දෙකට උණු කඳුළු පිරෙනවා.. මට දැනෙනවා. මට මෙතන අඬන්න බෑ. ඇයි ධනු මෙහෙම කරන්නේ.. මුහුණේ තියෙන්නේ හරිම සීතල බැල්මක්. මාව අඳුරන්නේ නැ වගේ. 
"ඇයි ධනූ මාව දන්නේ නැ වගේ බලන් ඉන්නේ?" 
හිස් බැල්මෙන් මගේ දිහා බලාගෙන හිටිය ධනුශ්ක අනිත් පැත්තට හැරිලා යන්න ගත්තා. මගේ ලෝකයම ආයේ ඇස් ඉස්‍සරහා කඩා වැටුනා. "ධනූ .. ප්ලීස්.. මාත් එක්ක කතා කරලා යන්නකෝ.. " වෙව්ලන කටහඬ එක්ක ආව ඇඬුම් සද්දේ නිසාද මන්දා එයා නැවතුනා. 

"මිහිරි ඔයා මගෙ ජීවිතෙන් ගියේ ඔයාට ඉන්න බැ කියලා.. ඇයි අයේ මාත් එක්ක කතා කරන්න එන්නේ.. මං මගේ ජීවිතේ හදාගෙන ඉවරඉ. ඔය දැන් මට මැරිච්ච කෙනෙක්.. මට දැන්.." 

" අනේ ඇයි ධනුශ්ක එහෙම කියන්නේ.. " මට තවත් එයා කියන දෙවල් අහගෙන ඉන්න බැරි නිසාම මම කතාවට බධා කලේ. 

"ඇයි ධනුශ්ක.. මං එහෙම ගියේ ඔයටයි නිලූශටයි එකට ඉන්න දිලානේ.. " 

"නිලූශා.. නිලුශා.. මගේ යකා අවුස්සගන්න එපා.. අවුරුදු හතක් තිස්සෙ මං දුක් විවිඳින්නේ.... තමුසෙ මෙහෙ සැපට ඉන්නවා.. මං ආදරේ කලේ ඔයාට මිහිරි.. නිලුශාට නෙවෙයි. එයා මං ගැන මොනවා හිතාගෙන හිටියත් ඒවා මට වැඩක් නැ.. ඒත් ඔයා මොකද කලේ.. එහෙම ප්‍රශ්නයක් ආපු ගමන් ම ඔයා පැනලා දිව්වා. අඩුම තරමේ මං අඬ අඬා ඔයාට බැගෑපත් වෙනකොටවත් ඔයා මාව විශ්වස කලේ නැ.." නිහඬව හිටිය එයා ආයේ කතා කරන්න ගත්ත. ඒ කටහඬ ඇතුලේ තිබුනේ බලාපොරොත්තු සුන් වුනු හඬක්.. හරිම අසරණ බවක්.. 
"ඇයි මිහිරි එහෙම කලේ මට??" 

මට දෙන්න පිළිතුරක් තිබුනෙ නැ..ඒකට දෙන්න පිළිතුර තාම දන්නේ නෑ මං.. ධනුශ්ක හැරිලා යනවා. මට එයාව ආයේ නවත්තන්න බැ.. එයව මං දෙසැරයක්ම නැවැත්තුවා.. එයාගේ රූපේ ටික ටික බොඳ වුනා. උණුසුම් කඳුළු කැට දෙකක් කොපුල් දිගේ රූටාගෙන ඇවිත් බිමට වැටුනා.. 

Sunday, April 7, 2013

ඉතින් පලයන් පුතේ..





එකම එක දවසක්
රහසේම වුනු දේට
උඹ පලි නැ පුතේ
ඒත් නැ විසඳුමක්..

නොදන්වා රහසේ ම
සරණක් හොයාගෙන
ආවත් මයේ ළඟට
සොයමි සරණක් මමත් තවම

උඹට කන්නට දෙන්නේ
කෝමෙයි මයෙ පුතේ
මටත් කන්නට දෙන්නෙ
මයේ අම්මා වෙච්චි කොට

රහසේම ආ විලස
අප්ප උඹේ රහසින් ම
පිටවෙල ගිහින් මට
නොකියාම නොදන්වා

රට්ටු මට පද හදයි
බෑ ඒවා ඉවසන්න
මං තවම ඉස්කොලේ
දොලැහේ පන්තියේ පුතේ

ආවොතින් මයේ ළඟට
අපහාසමයි උඹට
ඉතින් පලයන් පුතේ
වෙන කුසක් හොයාගෙන... 


Monday, February 18, 2013

~ඔබ~



දෙයැස් යට ලැඟුම් ගත්
සොඳුරු සිහිනය යි
හදවතේ මුමුණනා
නිහඬ ස්වරයද ඔබයි

හිස් වෙච්ච නිල් ගුවන
ඔබේ රුවෙන් සැරසිලා
නිහඬ මේ වාතලය
ඔබේ හඬින් පිබිදිලා

පාළු මගේ හිත ලඟම
පෑයු රන් තරුව ඔබ
අරුත් සුන් දිවි මගට
පැමිණි නව අරුත ඔබ

හුදකලා වූ සිතට
ඔබම කවියක් වුනි
මගේ නිහඬ පන්හිඳට
ඔබම ජිවය වුනි......

Saturday, January 19, 2013

සාපයකි බිහිසුනු...



වරක් සිදුවූ යමක්
දස දහස් වරක්
යලි යලිත් සිදුවෙනා
බිහිසුනු මිටියාවතකි...

දුක් සෝ සුසුම් මැද
හඬා වැලපුනු හැටි
මැවි මැවී දිස් වෙනා
පුළුල් තිරයකි එය..

එදා සිනහා වූ හැටි
සතුටු බස් දෙඩූ හැටි
හෙමිහිට කොඳුරමින්
හඬවනා නපුරෙකි..

දින ගණන් පැය ගණන්
ගෙවී ගොස් ඇත්තත් තව
මා හඬවනා ඒ 
මතකය සාපයකි...