~වැස්සයි.. මමයි.. අම්මයි.. ~
හීන් පොද එක එක බිමට වැටෙන්න පටන් ගත්තා. ඉර අව්ව තාම පායලා. ඒත් බිමට වැටෙන සිරි පොදට ඒ අව්වෙන් බාධාවක් නෑ. හෙමිට හෙමිට එක එක සිරිපොද පොළොවේ පස් මතට වැටෙනවා. ලා දුඹුරු පාට පස තැනින් තැන තද දුඹුරු පාට වෙලා. තිත් මෝස්තර වැටුණු චීත්තයක් වගේ. පස් වලින් පුංචි දුමක් නැගෙනවා. හෙමි හෙමිට පොළොවෙන් උඩට එන ඒ පුංචි දුමාරයෙන් මුළු පලාතම වැසී යනවා. මගේ නාසය අඟ පුංචි කිතිකැවිල්ලක් ඇවිත්. "පොළොවේ නැවුම් සුවඳ" තාත්තා කියනවා මං අහගෙන. 'නැවුම් සුවඳ'. හරි අපූරු වචනයක්. හරියට අලුත උපන් ළදරුවෙක් ලඟ තියෙන සුවඳක් වගේ පිරිසිදු.. නොකිලිටි සුවඳක්.. පුංචි සිරිපොද ටික ටික ලොකු වෙන්න ගත්තා. දැන් ඒවා පුංචි බොරළු ඇට වගේ. වහලේ උළු වලට වැහි බිඳු වැටෙන සද්දෙයි, ටකරන් උඩට වැටෙන සද්දෙයි වෙනස්. මං වැඩිපුරම කැමති කොයි සද්දෙට කියලා මට හිතාගන්න බෑ. උළු වලට වැටෙන සද්දෙට වෙන්න ඇති. දැන් වැහි පොද පුවක් ගෙඩි තරම් ලොකු වෙලා. කලින් තිබ්බ ඉර අව්ව ටික ටික නැතිවෙලා යනවා. හාත්පසම ලා අඳුරක්. වැස්ස දැන් හරියට අහසේ ඉඳන් පොළොවට දමා තිරයක් වගේ. එහා මෙහා පේන්නෙත් නෑ. "මොකෝ ළමයෝ වීදුරුවට මූණ තියාගෙන එ...