ඔබත් අනවශ්‍ය ලෙස දරුවන්ගේ ජීවිත වලට බලපෑම් කරන අයෙක්ද??


මේ මාතෘකාවට අදාළව ලිපියක් පළ කරන්නට බොහෝ කලක සිට සිතාගෙන සිටියද ඊට නිසි අදහසක් මා තුළ නොතිබුණි. ඊට හේතුව මා තවමත් දෙමව්පියන් යන භූමිකාව රඟ පා නැති වීමත් දෙමාපිය දූදරු සම්බන්ධය දෙමාපිය කෝණයෙන් කෙසේද යන්න මා නොදැන සීටිමත් ය. නමුත් අවුරුදු 22 ක ජීවිත කාලය තුළ [මහ ලොකු කාලයක් නෙවෙයි] අහලා දැකලා අත්විඳලා තියෙන දේවල් දිහා බැලුවාම මටත් පොඩි පොඩි දේවල් ටිකක් කියන්න පුළුවන් වෙයි දෙමාපිය දූදරු සම්බන්ධය ගැන. ඔබත් ඔබේ දරුවාගේ ජීවිතයට අනවශ්‍ය ලෙස බලපෑම් කරනවාද?? එහෙනම් මේ ලිපිය ඔබට සිතන්නට යමක් ඉතුරු කරාවි යන්න මගේ විශ්වාසයයි. මෙය ඔබ තරුණ ගැහැණු ළමයෙක්ගේ නන්දෙඩවීමක් ලෙස දකින්නට ඉඩ ඇත. දරුවකු හැදීම ගැන කිසිත් නොදන්නා අත්දැකීම් රහිත ප්‍රකාශයන් සහිත ලිපියක් ලෙස දැකීමට ඉඩ ඇත. ඔව්. මා එකඟයි. මා දරුවකු බිහි කර නැත. කවා පොවා හදා වඩා නැත. නමුත් මා මගේ නිවස තුළින් උගත් දේ නම් දෙමව්පියන් දරුවා බිහි කළද ඔහු තමාගේම කියා ජීවිතයක් තිබෙන තවත් එක මනුෂ්‍ය ප්‍රාණියෙකි. දරුවාට අසීමාන්තික නිදහසක් ලබා දීමක් ගැන මා කතා කරන්නේ නැත. නමුත් මේ ඔබ ඔහුගේ/ඇයගේ ජීවිතටට අනවශ්‍ය ලෙස බලපෑම් කලහොත් ඇති විය හැකි ප්‍රතිඵලය ගැන ලීවීමට දරන තැතකි. මා වැරදි වීමට ඉඩ ඇත. නමුත් අවම වශයෙන් සිද්ධීන් දහයකගෙන් නවයක ප්‍රතිඵලය මෙය වීමට ඉඩ ඇත.


මේ ප්‍රශ්න වලට පිළිතුරු මට අවශ්‍ය නැත. ඔබේ හදවතට පිළිතුරු දෙන්න.
[මේ ලිපියෙන් අරමුණු කරන්නේ ගැටවර වියේ [Teenage] පසුවන හා ගැටවර විය පසුකළ දරුවන් ය. ගැටවර විය පසු කොටත් [above 19] තාමත් ඔබ ඔබේ දරුවාගේ ජීවිතය පාලනය කරනවා නම් එය තරමක් හාස්‍යයට කරුණක්. නමුත් එය සිදු වෙනවා.]

1. ඔබ ඔබේ දරුවාට ආදරය කරනවාද?
2. ඔබට ඔබේ දරුවා සතුටින් සිටීමට අවශ්‍යද?
3. ඔබේ දරුවාට ගැලපෙන සුදුසුම දේ "ඔබ දන්නවා" කියා සිතනවාද?
4. ඔබේ දරුවාට පෞද්ගලිකත්වයක් තිබේද?
5. ඔබ ඔහුගේ/ඇයගේ මතයට ගරු කරනවාද?
6. ඔබේ දරුවාට නිවස තුළදී ස්වකැමැත්ත [Free will] ක්‍රියාවට නැංවීමට හැකිද?
7. ඔහු/ඇය විරුද්ධ ලිංගික යහළුවන් ඇසුරු කිරීම ගැන ඔබ නිකරුනේ කලබල වෙනවාද?
8. ඔබේ දරුවාගේ දිනපොත ඔබ කියවනවාද?
9. ඔබ ඔවුන් බිහි කළ නිසා ඔවුන් ඔබේ සිහිනයන් සැබෑ කළ යුතු යැයි ඔබ සිතනවාද?
10. ඔබ ඔබේ දරුවාට මිතුරෙක්ද?


හොඳින් සිතන්න. ඔබ දන්නවා නිවැරදි පිළිතුරු. 1. ඔව් 2. ඔව්. 3. නැහැ. 4. ඔව් 5. ඔව් 6. ඔව් 7. නැහැ 8. නැහැ 9. නැහැ 10. ඔව්.

ඒවා ඔබේ පිළිතුරු නම් ඔබට කියවීම නැවැත්වීමට හැකිය. ඔබගේ දරුවන් ඉතාමත් වාසනාවන්තය ඔබ වැනි දෙමව්පියන් ලැබීමට.

ඒවා ඔබේ පිළිතුරු නොවී නම් ඔබ ඉතිරිය කියවා බලන්න. සිතන්නට යමක් ඔබට ලැබේවී.
නිසැකයෙන් ම දෙමව්පියන් යන නාමය සුදුසු නැති කිහිපදෙනෙකු හැරෙන්නට අනිත් හැම අයෙක්ම පළමු ප්‍රශ්න දෙකට දෙන පිළිතුර "ඔව්" විය යුතු ය. [අවාසනාවට අතරින් පතර 'නැහැ' කියන පිළිතුර දෙන අයත් අපේ සමාජයේ සිටිනවා]

නමුත් අනිත් ප්‍රශ්න?

අපි ආරම්භ කරමු තුන්වන ප්‍රශ්නයෙන්. ඔබ ඔහුට/ඇයට ගැලපෙන සුදුසුම දේ දන්නවා යැයි සිතන්නේ නම් ඔබ වැරදි මිත්‍රයා. මිනිසුන් විවිධාකාරය. ඔහු/ඇය ඔබේ ජාන වලින් සැදුනු ඔබේ දරුවා වුවත් ඔහු/ඇය ඔබට වඩා වෙනස්. ලොව  සිටින අන් සියල්ලන්ටම වඩා වෙනස්. එනම් අතේ ඇඟිලි එකම අතකට අයිති වුනත් එකිනෙකට වෙනස් සේ ඔවුන්ගේ සිතුම් පැතුම් අන් අයට වඩා වෙනස් ය. ඔබ ලොව තිබෙන හොඳම දේ දන්නවා විය හැකිය. නමුත් ඔබ ඔහුට/ඇයට සුදුසුම දේ දන්නේ නැත. එය දන්නේ ඔහු/ඇය පමණි. ඔබට කළ හැකි හොඳම දෙය නම් ඔහුට/ඇයට ඇති හොඳම තෝරා ගැනීම් පෙන්වන්න. යාමට මාවත් පෙන්වන්න. ඔහුගේ/ඇයගේ කැමැත්ත අනුව එය තෝරා ගැනීමට ඉඩ හරින්න. එය ඔබේ හොඳම තේරීම නොවෙන්න පුළුවනි. නමුත් එය ඇයගේ/ඔහුගේ හොඳ තේරීමයි.

අංක හතරට ඔබේ පිළිතුර 'නැහැ' නම් එය ඔබ ඔබේ ජීවිතයේ කරන විශාලම වැරද්ද විය හැකිය. පෞද්ගලිකත්වය යනු කෙනෙක් ගේ පෞර්ෂය වර්ධනය කරන වැදගත් ම කරුණ කි. බිඳුණු පෞර්ෂයක් සමඟ ඔහු/ඇය සමජය තුළ සාර්ථක නොවේවි. කොතරම් ඉහළ අධ්‍යාපන සුදුසුකම් තිබුනද ශක්තිමත් පෞර්ෂයක් නැතිනම් සමාජයේ සාර්ථක වීම අපහසුය. ඔහුට/ඇයට තම යහළුවෙක් දුරකථන ඇමතුමක් දීමට පවා ඔබගෙන් අවසර ගැනීමට සිදුවෙනවා නම්? යහළුවන් සමඟ විනෝද වීමට යාමට නොහැකි නම්? [යන තැන ඇසිය යුතුය. කා සමඟද ඇසිය යුතුය. විශේශයෙන්ම ගහැණු ළමයින්ට ඒ අවධානය ලැබිය යුතුය.] මෙවැනි සුළු සුළු දෑ වලින් ඔබ ඔහුව/ඇවය ආරක්ෂා කරනවා නොව ඔවුන්ව බිඳ වට්ටනවා. එය සිදු වෙන්නේ ඔබ සිතන ආකාරය නොවේ. යහළුවන් අතර කොන් වීම, යහළුවන් ඔහුට/ඇයට පිටුපසට සිනා සීම. මෙවැනි දේ විදු වේ. එය ඔබේ දරුවාගේ පෞර්ෂත්වයට හානියකි. ඔහුට තාමාගේ කියා කාමරයක් නැති නම්? ඔහුගේ/ඇයගේ කාමරයට දොරක් නැති නම්? හැම මිනිසෙක්ටම යම්තරමක පෞද්ගලිකත්වයක් තිබිය යුතු ය. එයින් අදහස් වෙන්නේ ඔබ ඔහු/ඇය ගැන සොයා නොබැලිය යුතු බව නොවේ. සොයා බලන්න. යම් සීමාවක් ඇතිව. ඔහුට/ඇයට ඒ නිසි පෞද්ගලිකත්වය ලබා දෙන්න.

අංක 5 හා 6 බොහෝ විට එකට සම්බන්ධයි. ඔබ ඔහුගේ/ඇයගේ මතයට හරි කරනවාද?? ස්වතන්ත්‍රභාවය ඔබගේ නිවස තුළදී ඔහුට/ඇයට හිමිද? නීතියෙන් හැම අයෙකුටම හිමිව ඇති නිදහස් තීර්ණ ගැනීමේ හැකියාව ඔබේ දරුවාටත් තිබේද? එහෙම නැත්නම් කළ යුතු දේ ඔබ ඔහුට/ඇයට කියවාද? ඔහු/ඇය හොඳ රූකඩයක් වේවි. ඔබ නැති දවසක සමාජය තුළ ඔහු/ඇය අතරමං වේවි. ඔබ ඔහුගේ/ඇයගේ නිදහස් තීර්ණ ගැනීමේ හැකියාව කපා වෙන් කල පසු එය යළි කිසිදිනක නැවත සැකසීමට නොහැක. ඊට හේතුව ඔවුන් ඊට පුරුදු වී නැති වීම ය. තනිවම තීරණයක් ගන්න වූ අවස්ථාවක ඔවුන් ජීවිතේ අතරමං වේවි. සමජයගේ පහසු ගොදුරු බවට පත් වේවි. නිදහස්ව තීරණ ගැනීමට ඔවුන්ට ඉඩ දෙන්න. ඒ තීරණ නිවැරදිව අධීක්ෂණය කරන්න. එය ඔබේ දරුවව ශක්තිමත් කරාවි.

අංක 7ට අදාළ කරුණ ගැන ඔබ කලබල වෙනවා නම් කාරණා දෙකක් සිදු විය හැකිය. එකක් ඔවුන් විරුද්ධ ලිංගිකයන් ඇසුරු කිරීමට බිය වීම හා පුරුදු නැති කම නිසා අනවශ්‍ය ලෙස ලැජ්ජාශීලී වීම. අනිත් කරුණ නම් ඔබට හොරෙන් ඔවුන් ඇසුරු කිරීමට මාර්ගයක් සකස් කර ගැනීම. මේ කරුණු දෙකින් ම සිදු වන්නේ හොඳක් නොවේ. විශේෂයෙන් පිරිමි ළමයෙකු ගැහැණු ළමයි ඉදිරියේ අනවශ්‍ය ලෙස ලැජ්ජා වෙනවා නම් හෝ නුහුරු ලෙස හැසිරෙනවා නම් එය ඔහුගේ පෞර්ෂයට විශාල ලෙස බලපෑම් ඇති කරනවන්නකි. අනිත් කරුණ ගැහැනු ළමයෙකු තම මා පියන්ට හොරා පිරිමි ඇසුරට යොමු වෙනවා නම් එයද අනතුරකට අත වැනීමකි. ඊට පිළියම ඔවුන් එක්ටැම් ගෙයක සිර කරවීම නොවේ. ඔවුන්ට නිසි සීමාවක සිට විරුද්ධ ලිංගිකයන් ඇසුරු කිරීමට ඉඩ ලබා දෙන්න. ඔවුන්ව අනවශ්‍ය ලෙස සැක කිරීමෙන් වළකින්න. 

අංක 8 ට ඔබ ඔව් කිවා නම් එය ලැජ්ජාවට කරුණකි. එය ඉතා නරක පුරුද්දකි. ඔවුන්ට ඔවුන්ගේ ප්‍රශ්න ඇත. ඒවා දැන ගැනීමට සුදුසුම ක්‍රමය ඔහුගේ/ඇයගේ දිනපොත කියවීම නොවේ. ඔවුන්ට සවන්දීමයි. ඕනැම ප්‍රශ්නයක්දී තමාට කතා කළ හැකි බව ඔවුන්ට දැනෙන පරිසරයක් ගොඩ නැඟීමයි.

අංක 9 සඳහන් ලෙස ඔබ ඔබේ සිහිනය ඔහු තුළින් ඉටුකරවා ගැනීමට යනවා නම් එය අසාධාරණය. මව්පියන් ලෙස එසේ සිතීමට ඔබට සියළු නිදහස ඇත. නමුත් මොහොතක් සිතන්න, එවිට ඔහුගේ/ඇයගේ සිහිනයට වන්නේ සිත තුළම මියැදෙන්නටය. දරුවා සතුටු වන්නේ ඔහුගේ/ඇයගේ සිහිනය සෑබෑ වන විටදීය. එසේ අයෙක් ජීවිතේ තෘප්තිමත් වන්නේ තමා කැමති දෙයක් කරන විටදී ය. සමහර විට ඔබේ සිහිනය ඔහුගේ සිහින නොවෙන බැවින් ඔබ ඔහුගේ ජිවිතය නීරස එකක් කරනවා විය හැකිය. 

අවසානයෙන් ඔබ තවමත් ඔබේ දරුවාට දෙමව්පියෙක් පමණක් නම් එය වෙනස් කිරීමට කාලයයි. යහළුවකු වන්න. ඕනැම රහසක් තමා සමඟ බෙදා ගත හැකි බව ඔවුන්ට ඒත්තු ගන්වන්න. රහසක් කීවූ විට කලබල නොවී ඊට ගැලපෙන උපදෙස දෙන්න. මගේ අම්මාට මට ඕනෑම දෙයක් කීමට හැකි වීම ගැන මම ආඩම්බර වෙනවා. ඔබේ දරුවා ඔබට හැමදේම කියන අයෙක් වූ විට ඔබට ඔහු/ඇය ගැන බිය වීමට කරුණක් නැත. මක් නිසාද යත් ඔහු/ඇය ඔබට කීමට නොහැකි දෙයක් කීරීමට නොසිතන බැවිනි. ඔවුන් තමා විසින්ම වරදින් වැළකෙන්න බව මම අත්දැකීමෙන් දනිමි.


අයෙක් රූකඩයක්ද තව අයෙක් දරුණු පුද්ගලයෙක්ද විය හැකිය. මා දන්නා සමහරුන් තම දෙමව්පියන්ට ආදරය නොකරයි. තමාට කවදා ඔවුන්ගේන් ගැලවී යා හැකිදැයි බලා සිටි. මෙවැනි තත්වයක් ඔබට අවශ්‍ය නැති බව ස්ථිරය.
ඔබ දරුවාට ආදරේ නම්
ඔහුට නිසි මඟ පෙන්වන්න, ඇඳගෙන යන්න එපා
ඔහුට විකල්ප පෙන්වන්න, තල්ලු කරන්න එපා
ඔහුට ගෞරවය දක්වන්න, හෑල්ලු කරන්න එපා
ඔහුට ආදරය කරන්න, හිර කරන්න එපා..


To read the English post to go to this Link

Comments

  1. ළමයි හදන්ඩ කල් තියෙනවා :ප්
    ඒ වුනාට ගොඩක් වටිනවා මේක

    ReplyDelete
    Replies
    1. ඔයා හදන ළමයින්ව හොඳට හදන්න සහෝ.. :D

      Delete
  2. මටත් තාම ලමයි නැත.ඒ නිසා මේ සම්බන්ධයෙන් කිව හැකි දෙයක් මට නොතේරේ.නමුත් අනවශ්‍ය ලෙස දරුවන්ගේ ජීවිත වලට බලපෑම් කරන දෙමව්පියන්ට මෙය ගොඩක් වටීවි.අනික දෙමාපිය කියලා වචනේ වැරදියි නේද?

    ReplyDelete
    Replies
    1. දෙමාපිය දූදරු කියලා කියනකොට අවුලක් නැ නේද.. අනේ මන්දා..
      කොහොම වුනත් එහෙම එක්කෙනෙක් දෙන්නෙක් හරි මේක බැලුවා නම් තමා ගොඩාක් වටින්නේ.... ජය වේවා...:D

      Delete
  3. දැන් ටිකකට කලින් ඇවිත් ඉන්නකොට මේක තිබුනේ ඉංග්‍රීසියෙන්නේ....! මෙන්න බොලේ සිංහල වෙලා..මරු මරු මරු..

    ළමයින්ට නිදහස කියන එක උපරිමෙන් විඳින්න දෙන්න ඕනේ. හරියට සරුංගලේ පාවෙනවා වගේ, ඒත් සරුංගලේ නුල තියෙන්න ඕනේ දෙමාපියන්ගේ අතේ. ඒත් බලෙන් පාලනය කරන්න හැදුවොත් ප්‍රතිපලේ දරුණු වෙන්න පුළුවන්. ලැබෙන සියුම් ඉඩෙන් ළමයා බොහෝ ප්‍රයෝජන ගන්න පුළුවන්. ගොඩක් වෙලාවට ඒ ප්‍රයෝජන අවසානාවන්ත ප්‍රතිපල අත්කරලාදෙවී.

    ReplyDelete
    Replies
    1. හරි හරි ඉංග්‍රිසී එකකුත් තියෙනවා.. ඒක තමා මුලින් ලිව්වේ.. පස්සේ සිංහලට පරිවර්ථනය කලා.. මොකද ඉතින් අපේ අය ඔච්චර දිග පොස්ට් එකක් ඉංග්‍රිසියෙන් කියවන එකක් නැ කියලා හිතුනා..

      Delete
  4. ළමයි ගැනම කතා මොකෝ මේ ගෑල්ලමයි??????

    ReplyDelete
    Replies
    1. හිහි.. මේ නම් ළමයි ගැනම නෙවෙයි... ඔයාලා අපිත් මේකට අයිතියි.. මොකද අවුරුදු 20 වැඩි අයත් ඉන්නවා මෙහෙම දෙමව්පියන් ඉන්න..

      Delete
  5. නියමයි නංගි..මාරම වටිනවා ...
    මේ තව දෙයක් ...මම මුදල් සහිත මගේ ලිපිනය ලියු ලිවුන් කවරයක් ඔයාට එවැන්නන්
    මේකේ අකුරු ටිකක් ලොකු කරලා,ලස්සනට ප්‍රින්ට් කරලා අපේ අම්මට එවන්න පුලුවන්නද..ලොකු උදවුවක් ....හික්ස් ..:P :P

    ReplyDelete
    Replies
    1. එහෙනම් අපේ ගෙදෙට්ටත් එවන්න. ලොකුම ලොකු උදව්වක්

      Delete
    2. හිහිහි.. ඉතින් පොඩ්ඩක් අම්මට එන්න කියලා කියවන්න දෙන්න.. හැබැයි ඔන්න මට බැන්නොත් නම් ඔයාලම මාව බේරගන්න හොඳේ..
      නැත්නම් ඔයලා ප්‍රින්ට් අවුට් එකක් අරන හොඳට පේන තැනක තියලා තියන්න.. ;)

      Delete
  6. ළමයින් හදන්නට බලාපොරොත්තුවක් ඇත.... ඒ නිසා මට නම් මේ ලිපිය මසුරන්. දරුවන්ට ජීවිතේ සහ සමාජය ගැන අවබෝධයක් එනකම් දෙමාව්පියෝ පසුපසින් ඉන්න ඕන...අද සමාජය හරි වේගවත් අපි දරුවන්ව අතහැරියොත් එයාලා ගහගෙන යන්න ඉඩ තියෙනවා.දරුවන්ව අවබෝධ කර ගැනීමයි වැදගත් මං හිතන්නේ. එතකොට දරුවොන්ගෙයි දෙමවිපියන්ගෙයි දෙගොල්ලන්ගෙම හීන සැබෑ වෙනවා....

    ReplyDelete
    Replies
    1. හරියට හරි අක්කේ.. :) ඔයාගේ බලාපොරොත්තුව ඉක්මනින් සඵල වේවා කියලා ප්‍රාර්ථනා කරන්නම්..

      Delete
  7. හප්පේ තාම අම්ම කෙනෙක් නොවී කොහොමෙයි මේකට උත්තර දෙන්නේ? කොහොම උනත් හොද ලිපියක්.අනාගතයේදී මේක ගොඩක් වැදගත් වේවි මට.

    ReplyDelete
    Replies
    1. ඔයාත් ඉතින් සත්තලන්ට කියලා ඉක්මනට පුංචි බබෙක් ගේන්න ගෙදර.. හිහිහි..

      Delete
  8. මා හැඟි අගනා ලිපියකී.

    ReplyDelete
    Replies
    1. බොහෝම ස්තූතියි සහෝ.. :)

      Delete
  9. මෙහෙමයි.. පොඩි උන්ට තීරණ ගන්න දීලා ඒ පිටි පස්සේ ඉඳන් උදව් කරනවා නම් හරි.. අනික. තමන් ගන්න ඕනෙම තීරණයක් පිටිපස්සේ තියෙන හොඳ හෝ නරක විපාක එයාලට විඳින්න දෙන්න ඕනේ.. මොකද ඒ අත්දැකීම් නැති බෝනික්කෝ ළමයි වැඩක් නෑනේ.. ඒක නිසා බලපෑම් වලින් තොර විය යුතුමයි වගේම සකච්ඡ ද තිබිය යුතුය.. මම දන්න ගොඩක් තැන් වල ඔය වගකීම් පැවරීම නිසා අනාගතයට අවැසි වගේම වර්තමානයේ නව හැඟීම් වලින් යුතු මානසික සමාජීය වගේම භෞතියමය දියුණු පවුල් දැකල තියෙනවා.. අපේ ගෙදරත් දැන් ඕක ක්‍රියාත්මක වෙනවා...

    ReplyDelete
    Replies
    1. හරියටම හරි සුදා.. ළමයින්ට තමන්ගේ අත්දැකීම් වලින් ඉගෙන ගන්න දෙන්න ඕනේ.. එහෙම තමා නියම පුද්ගලයෙක් බිහි වෙන්නේ..

      Delete
  10. එළ එළ අක්කේ. මගේ දිනපොතත් මට හොරෙන් කියවනවා. ඒත් අම්මවත් තාත්තාවත් නෙවේ. අක්කා තමා ඒ කැත වැඩ කරන්නේ. කියවලා විතරක් නවතින්නේ නෑ.අම්මටත් කියනවා ලොකු වැඩක් කලා වගේ. හරියට එයාට පෞද්ගලිකත්වයක් නෑ ‍වගේ. සංසාරේ එපා වෙනවා ඒ වෙලාවට..

    ReplyDelete
    Replies
    1. ම්ම්ම්..ඒක නම් හරිම නරක සහ කැත පුරුද්දක්.. අක්කාට පොඩ්ඩක් හොඳින් කියලා බලන්න.. සමහර විට තේරුම් ගනී..

      මගේ ඩයරිය ඔහේ මගේ මේසේ උඩ ඕනතරම් තියලා තියනවා.. මන් ගෙදර නැති වෙලාවටත් ඒත් තාමට කිසිම කෙනෙක් පෙරලලා බලලා නැ..

      Delete
  11. වයසට ගියාම සමහර අදහස් ගොඩක් වෙනස් වෙනවා....

    ReplyDelete
    Replies
    1. නෑ අයියේ මේ වයස නිසා වෙන දෙයක් නෙවෙයි.. ළමයාව තවත් පුද්ගලයෙක් ලෙස නොදැකීම නිසා වෙන දෙයක්.. ළමයා දේපළක් විදිහට දැක්කා තමා මෙහෙම වෙන්නේ..

      Delete
    2. හික් හික්.. තව ටිකක් වයසට ගිහින් මේ පෝස්ට් එක බලන්නකෝ.... එතකොට මං කියපු දේ තේරෙයි.. :-D

      Delete
    3. හිහිහි..ඔයා කියන්නේ මම වයසට යනකොට මේ අදහස් වෙනස් වෙයි කියලා නේ.. අනේ මන්ද.. හැබැයි ඉතින් මාව අම්මලා හදපු විදිහටම මම මගේ ළමයි හදයි කියලා මම හිතනවා...එහෙම වුනොත් නම් වෙනසක් වෙන්නේ නැ.. :D

      Delete
  12. වැදගත් ලිපියක්. :)

    ReplyDelete
  13. This comment has been removed by the author.

    ReplyDelete
  14. Oh,My! The things you know! Kidding. I know,I know.What u say is very very correct. But, you know', mothers are overprotective.

    ReplyDelete
    Replies
    1. hehe..yeah mothers are always overprotective.. :) thank you very much for the comment mam..

      Delete
  15. ම්ම්ම්...කවදාහරි වැදගත් වෙන ලිපියක්.

    ReplyDelete
  16. මම හරි වාසනාවන්තයි මොකද මම ලබලා තියෙන්නේ ලියලා තියන පිළිතුරු ලබාදෙන අම්මෙක් :) ජය!!!!!!!!!!!

    ReplyDelete
  17. වටිනා ලිපියක් යාලු..
    පමණට වඩා ළමයින්ව පාලනය කරන්න ගියොත් එයාලට ජිවිතේ එපා වෙනවා.
    නිදහස කියන දේ ප්‍රමාණවත්ව ලබා දුන්නා නම් හරි.
    මෙවන් ලිපි මිනිසුන්ව හොඳ දෙයක් හිතන්න යොමු කරනවා.

    ඔබට ජය!

    ReplyDelete
  18. වැදගත් ලිපියක් යාළු..ඕක හැම අම්මලා තත්තලාම බලනවානම් හොදයි....

    ReplyDelete
  19. මේක පෙන්නන්න ඕන හැමෝටම :)

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
  20. සෑහෙන්ඩ වටින ලිපියක්...
    තව දෙයක් කියන්ඩ ඕන. සමහර වෙලාවට දෙමවුපියන්ගේ ආදරේ දරුවන්ට නරකට හිටින අවස්ථා තියෙනවා.
    ඒ නිසා ඒවා ගැනත් පරිස්සම් වෙන්ඩ ඕනා.

    රෙඩ් නංගි බඳින්ඩවත් යනවද මන්දා.... :)

    ReplyDelete
  21. අපූරු ලිපියක්. දරැවන්ටෙ නිදහස දී ඒ නිදහස විඳින දරුවන් ගැන විමසිලිමත්විම හොඳයි හැම කෙනෙකුටම වැදගත් ලිපියක්..

    ReplyDelete
  22. ඔන්න ඉස්සෙල්ලාම ආපු දවසෙ වැදගත් පෝස්ටුවක් තමා කියවන්න ලැබුවෙ.. දෙමාපිය දූදුරු සබදතාව පලුදුවෙලා තියෙන නිසා තමයි වර්තමානයේ පවුල් වල නොයෙක් ආරවුල් නිර්මාණය වෙලා තියෙන්නෙ...

    ඔබේ බ්ලොගිය ගොඩාක් ලස්සනයි...විශේෂයෙන් මේ රෝස පැහැය... ජය!

    ReplyDelete
  23. ගොඩක් වටින හැමොටම වැදගත් ලිපියක්.

    ReplyDelete
  24. දැන් පරක්කු වැඩියි රෙඩ්. නමුත් අපි ඇවිල්ල තියෙන පාර නරක නැති බව පේනවා!

    henryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude)

    ReplyDelete
  25. තාම තාත්තා කෙනෙක් වෙන්න හිතලා නෑ අෆ්ෆා.:(
    එහෙම වුණානම් දීලා තියෙන උත්තරම තමා මාත් දෙන්නේ. :)

    පොස්ට් එකේ ලියලා තියෙන ඒවා ඇත්ත.කවදාහරි මගේ ළමයින්ට මට වෙලා තියෙන දේවල් වෙන්න දෙන්නේ නෑ.කරන දෙයක් හරියට තෝරන්, බේරන් කරන්න මං උගන්වනවා මගේ වෙන්ඩ මායියත් එක්ක.පින කියන්නේ මගේ වෙන්ඩ මායියාගේ අයිඩියා එකත් ඒකමනේ.. :) :)

    ReplyDelete
  26. මං මේක කියෙව්වේ අපේ අම්මයි තාත්තයි කොහොමද කියලා හිත හිත මේකේ තියෙන ප්‍රශ්න දහයෙන් 9ක්ම ඒ ගොල්ලෝ මට දෙනවා.අන්තිම එක තමා අවුල තාත්තට අම්මට මට ඕනේ දෙයක් කියන්න පුළුවන් එත් ඒ හැම එකක්ම මං කරන්නේ ඒ ගොල්ලොන්ට තියෙන ගෞරවේ තියලයි.අපේ ගෙදර මිනිස්සු මට සලකපු විදිහ තමා හොදම විදිහ කියලා මං දකින්නේ.කවදාවත් මගෙ අදහස් වලට ඇහුම්කන් නොදී හිටියේ නෑ.මගෙ හිතේ තිබ්බ දෙයක් තමා මගෙ ළමයෙක්ට වුනත් සලකන්න ඕනේ ඒ විදිහට කියලයි. :)

    ReplyDelete
  27. he hee අනේ මංද.. හැබැයි වැදගත්

    ReplyDelete
  28. මේක බුක්මාක් කරලා තියාගන්න වෙයි වගේ අනාගතේදි කියවන්න, හැබැයි මගේ දෙමව්පියෝ නම් ප්‍රමාණවත් නිදහසක් අයියලා දෙන්නටත් මටත් දුන්නා, අපි ඒ විශ්වාසය කඩ කළෙත් නැහැ. අපේ දරුවොත් එහෙම වේවිද මේ ව්කෘති සමාජයත් එක්ක හැසිරෙද්දි???

    ReplyDelete
  29. අනාගතේට වැදගත් වෙන පොස්ටුවක්

    ReplyDelete
  30. බොහෝම ස්තූතියි සයුරි, චූටි, හිරු, විශි දර්ශ, අඩවි රජා, මධු අයියා, දයානන්ද අයියා, සිරාගේ කාමරේ, දිනේශ් අයියා,කෝරලේ මහත්තයා, ලහිරු. නිපුන, මඩයා, ඉෂාන්, Dude. අදහස් වලට වෙන වෙනම ස්තූති කරන්න බැරි වුන එක ගැන කණගාටුයි. බොහොම සුළු වෙලාවක් තමා මේ දවස් වල බ්ලොග් එකේ රැඳෙන්නේ.. ඔයලාගේ අදහස් මට ගොඩාක් වටිනවා.. :D

    ReplyDelete
  31. very very important topic keep it buddy... :)

    ReplyDelete

Post a Comment

Comment Hint

ඔබට comment සදහා Image, color text සහ marquee text ඇතුලත් කල හැක



Images: [im]...........................[/im]

scrolling effect: [ma].....................[/ma]

font size: [si="2"]..............[/si]

font color: [co="red"].........................[/co]

centralize the text: [ce]..................[/ce]

scrolling effect in right side: [ma+]......................[/ma+]

box the comment: [box]....................[/box]

mark the comment: [mark].................[/mark]

background effect: [card="blue"].....................[/card]

image to fit the column(100%): [im#]...........................[/im]

Highlight the words: [hi="yellow"].........................[/hi]

Popular posts from this blog

~සුභ උපන්දිනක් තාත්තා~ Happy Birthday dad~

~සොෆීගේ ලෝකය~ "Sophie's World"

මා නම් සඳකි පොළවට බට..